ICC එක Big3 යටතට…?

සැ.යු. හුදෙක් හාස්‍ය සඳහා පමණයි.

ICC ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් ගොඩක් දෙනෙක් දැනුවත් වෙලා ඇතිනේ. ශ්‍රී ලංකා සහ පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩල වල විරෝධය මධ්‍යයේ අද මේ යෝජනා සම්මත වුණා. මෙමගින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිගමනට ඇතිවන බලපෑම ගැන ඉදිරියේදී ලියන්න බලාපොරොත්තු වෙනවා.

Advertisements

Bodyline ගැන මොනවද දන්නෙ ? – I කොටස

කාලෙකට පස්සේ cowkorner එකෙන් ඔයාලා හමුවෙන්න එන්නෙ ඉතිහාස පාඩමකුත් අරන්. අද මම කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ගැන. ඒ තමයි 1932-33 අළු බඳුන තරගාවලිය හෙවත් Bodyline තරගාවලිය. ඇතැමුන් මේක හඳුන්වන්නෙ ක්‍රීඩා ඉතිහාසයේ අඳුරු සිදුවීමක් විදිහට. මේ කතාව බොහොම දිග එකක්, පුළුවන් තරම් කෙටියෙන් එහෙත් රසවත් බවේ අඩුවක් නොවෙන්න ඒ කතාව කියන්න උත්සාහ කරන්නම්.

බ්‍රැඩ්මන්ගෙන් ත්‍රිත්ව ශතකයක්

බ්‍රැඩ්මන්ගෙන් ත්‍රිත්ව ශතකයක්

Bodyline තරගාවලියට අඩිතාලම හැදෙන්නේ 1930 එංගලන්තයේ පැවති අළු බඳුන තරගාවලියේදි. එංගලන්තය තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්වුණත් ඔවුන් ඊටත් වඩා භීතියට පත්කළ කාරණාව වුණේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් නමැති විසි දෙහැවිරිදි ඕස්ට්‍රේලියානු පිතිකරුවා දැක්වූ දක්ෂතාවයයි. ලකුණු 139.14ක සාමාන්‍යයක් සහිතව ඉනිම 7කදී ඔහු රැස්කළ ලකුණු 974 අදටත් ටෙස්ට් තරගාවලියක පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. එහිදී ඔහු පිළිවෙලින් ලකුණු 8, 131, 254, 1, 334 (මේ බ්‍රැඩ්මන්ගේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවයි), 14, 232 බැගින් රැස්කළා. මේ තරුණ පිතිකරුවා දුටු ඉංග්‍රීසි ජාතිකයින් සිතුවේ තව වසර ගණනකින් ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නා තුරු එංගලන්තයට යළිත් අළු බඳුන කුසලානය දිනා ගැනීම සිහිනයක් පමණක් වනු ඇති බවයි.

ඉන් අනතුරුව 1932-33 අළු බඳුන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන එංගලන්ත පිළේ නායකත්වයට ඩග්ලස් ජාඩින් පත්කරනු ලැබුවේ අළු බඳුන යළි දිනාගැනීමේ එංගලන්ත සැලසුමේ මුල් පියවර ලෙසයි. ජාඩින්ගේ පත්කිරීම තීරණාත්මක සිදුවීමක් වුණේ ඔහු ඔක්ස්ෆෝඩ් විශ්ව විද්‍යාලීය කණ්ඩායමට ක්‍රීඩා කරන සමයේ පටන් ඕස්ට්‍රේලියානුවන් නුරුස්සන ක්‍රීඩකයෙක් වුණු නිසයි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලීන් ඔහුව ආමන්ත්‍රණය කළේ “සාඩින්” යන නමින්! වරක් ඕස්ට්‍රේලියානුවන් ඔහුට එතරම් ප්‍රිය නොකරන්නේ මන්දැයි ඇසු විටෙක ජාඩින් ප්‍රසිද්ධියේ පවසා තිබුණේ තමන්ද ඕස්ට්‍රේලියානුවන් ප්‍රිය නොකරන බවයි. (“The feeling is ******* mutual.”) ඒ විතරක් නෙවෙයි, එංගලන්ත නායකත්වයට ජාඩින් පත්කළ පුවත ඇසු ඔහුගේ පුහුණුකරුවෙකු වූ රොක්ලි විල්සන් පවසා තිබුණේ එංගලන්තය තරගාවලිය ජය ගැනීමට ඉඩ ඇති නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ යටත් විජිතයක් පවා අහිමි වීමට ඉඩ ඇති බවයි. (“We may well win the Ashes, but we may very well lose a Dominion.”)

එංගලන්ත නායක ඩග්ලස් ජාඩින්

එංගලන්ත නායක ඩග්ලස් ජාඩින්

1930 අළු බඳුන තරගාවලියේ එක්තරා අවස්ථාවකදී බ්‍රැඩ්මන් තම සිරුර ඉලක්ක කරගත් බවුන්සර් පන්දු හමුවේ තරමක අපහසුතාවයකට ලක්වන බවට ඉඟි පළකොට තිබුණා. බ්‍රැඩ්මන් දවාගත හැකිනම් ඔස්ට්‍රේලියාව පැරදවීම එතරම් අපහසු දෙයක් නොවන බව දන සිටි ජාඩින් මුලින්ම කළේ තමන් සතු හොඳම වේග පන්දු යවන්නන් දෙදෙනා වන හැරල්ඩ් ලාවුඩ් සහ බිල් වෝස් ඇතුළු ජ්‍යෙෂ්ටයින් සමග එක්වී නව උපාය මාර්ගයක් සැලසුම් කිරීමයි. ඒ සාකච්චාවල ප්‍රතිඵලය ලෙස bodyline භාවිතා කිරීමට තීරණය කෙරුණා.

ඓතිහාසික bodyline තරගාවලිය සඳහා පසුබිම සැකසුණේ ඔන්න ඔහොමයි. ඒත් ඉතින් මොකද්ද ඇත්තටම bodyline කියන්නේ? ඒ ගැන තොරතුරුත් 1932-33 අළු බඳුන තරගාවලිය සහ එයින් ඇතිවූ බලපෑම ගැන තවත් රසවත් තොරතුරු මීළඟ කොටසින්.

“අද ක්‍රිකට් පිටිය” ට විරාමයක්…

පෙබරවාරි මාසෙ 24 වෙනිද ඉඳල මාස 5 කට වඩා වැඩි කාලයක් නොකඩවා ලියපු “අද ක්‍රිකට් පිටිය” ලිපි පෙළට තාවකාලික විරාමයක් දෙන්න අකමැත්තෙන් වුණත් මම තීරණය කළා. හොඳින් කරුණු සොයා බලා දිනපතා ලියන මේ වගේ ලිපි පෙළක් ලියන එක විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ එතරම් දෙයක් නොවුණත් රැකියාවට ආවට පස්සෙ ඇතිවුණු කාර්යබහුලත්වය එක්ක එහෙම කරන්න හරිම අමාරුයි. නමුත් හැකි හැම වෙලාවකම “අද ක්‍රිකට් පිටිය” ඉතිරි ලිපි සියල්ලත් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇතිවෙන අඩුපාඩු මගහැරෙන්නත් එක්ක ඉස්සරට වඩා විශේෂාංග ලිපි ලියන්න හැකිවෙයි කියල තමයි හිතන්නෙ. ඉතින් නොකඩවා “අද ක්‍රිකට් පිටිය” කියවමින් මාව දිරිමත් කරපු ඕගොල්ලෙ හැමෝම ඉදිරියටත් cowkorner පැත්තෙ එයි කියල බලාපොරොත්තු වෙනව.

අද ක්‍රිකට් පිටිය (ජූලි 27)

බ්‍රැඩ්මන් සහ මොරිස්

බ්‍රැඩ්මන් සහ මොරිස්

සුපිරි පිතිකරු සර් ඩොන් බ්‍රැඩ්මන් තම ටෙස්ට් දිවියේ අවසන් වතාවට ශතකයක් වාර්තා කළේ 1948 අද වැනි දිනක එංගලන්තයට එරෙහිව හෙඩිංලි හිදී. ඒ ඔහුගේ 29 වන ටෙස්ට් ශතකයයි. මෙහිදී බ්‍රැඩ්මන් නොදැවී රැස්කළ ලකුණු 173 නිසා වාර්තාගත ලකුණු 404ක ඉලක්කයක් කඩුළු 3ක් පමණක් දැවී සපුරාගන්නට ඕස්ට්‍රේලියාවට හැකිවුණා. මෙහිදී බ්‍රැඩ්මන් ආරම්භක පිතිකරු ආතර් මොරිස් සමග දෙවන කඩුල්ල සඳහා ලකුණු 301 ක සබඳතාවක් පැවැත්වූවා. 1976 වනතුරු කණ්ඩායමක් විසින් ටෙස්ට් තරගයකදී හඹාගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි ලෝක වාර්තාවට හිමිකම් කිව්වෙත් මෙයයි.

සාමාන්‍යයෙන් ටෙස්ට් තරගයක එක් දිනක් තුළදී ලකුණු 300-400 අතර ප්‍රමාණයක් තමයි වාර්තා වෙන්නෙ. නමුත් 1936 තරම් ඈත අතීතයේ එංගලන්තය සහ ඉන්දියාව අතර මැන්චෙස්ටර් හි පැවති ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී කණ්ඩායම් දෙකම වාර්තාගත ලකුණු 588ක් රැස්කරන්නට සමත් වුණා. පුදුමයි නේද? මෑත කාලයේ මේ වාර්තාව ආසන්නයටම පැමිණෙන්නට හැකිවුණේ ශ්‍රී ලංකාවටයි. ඒ 2002 කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශයට එරෙහිව එක් දිනක් තුළදී ලකුණු 509ක් රැස් කරමින්. (මේ ගැන විස්තරය කලින් දවසක මම ඔබට කිව්වා.)

සුපිරි එංගලන්ත පිතිකරු ග්‍රැහැම් ගුච් තම ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 333 වාර්තා කළේ 1990 අද වැනි දිනක ලෝඩ්ස් හිදී ඉන්දියාවට එරෙහිව. මෙහි ඇති වැදගත්කම වන්නේ දෙවන ඉනිමේදී තවත් ලකුණු 123ක් රැස්කරමින් ඔහු ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව (456) සඳහා ලෝක වාර්තාවක් පිහිටුවීම නිසයි.

සුපිරිතම පන්දු රකින්නා ලෙස විරුදාවලිය ලත් දකුණු අප්‍රිකාවේ ජොන්ටි රෝඩ්ස්, හිටපු ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් මෙන්ම කෙන්යාවේ කොලින්ස් ඔබුයා අද උපන්දින සමරන ක්‍රිකට් ක්‍රීඩකයින්.

අද ක්‍රිකට් පිටිය (ජූලි 26)

තිසර පෙරේරාගෙන් දරුණු ප්‍රහාරයක්

තිසර පෙරේරාගෙන් දරුණු ප්‍රහාරයක්

අද දවසේ විස්තර කියනකොට අද පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගය ගැන නොකියාම බැහැ. තරගයෙන් ලංකාවට අත්වුණේ පරාජයක් වුණත් එහිදී තිසර පෙරේරා එක් පන්දුවාරකදී ලකුණු 35ක් රැස්කරමින් තැබූ වාර්තාව දෙවනි වන්නේ දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් නෙදර්ලන්තයට එරෙහිව පන්දු වාරයකදී ලකුණු 36ක් (හයේ පහර 6ක්) රැස්කරමින් 2007 දී තැබූ වාර්තාවට පමණයි. වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රොබින් පීටර්සන් යැවූ මෙම පන්දුවාරයට හයේ පහර 5ක් එක් හතරේ පහරක් සහ එක් wide පන්දුවක් ඇතුළත්. හැබැයි මේක පීටර්සන්ට නම් අළුත් දෙයක් නෙවෙයි. බොහෝ දෙනෙක් නොදන්න කරුණක් තමයි ටෙස්ට් තරගයක එක් පන්දු වාරයකදී එල්ල වූ වැඩිම ලකුණු සංඛ්‍යාව එල්ල වූයෙත් රොබින් පීටර්සන්ට එරෙහිවමයි. කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් හිදී පැවති ටෙස්ට් තරගයකදී සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා පීටර්සන්ගේ පන්දුවාරයකදී හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් ඇතුළත්ව ලකුණු 28ක් රැස්කළා.

එදා මෙදා තුර ටෙස්ට් ඉතිහාසයේ තියුණුතම තරගයක් ලෙස හැඳින්විය හැකි තරගයක් ගැන තොරතුරුයි මේ. තරගය පැවැත්වුණේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර මැන්චෙස්ටර් හිදී. මෙහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 124ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය ලකුණු 120 කට දවාගන්නට හියු ට්‍රම්බල් (කඩුළු 6) සහ ජැක් සෝන්ඩර්ස් (කඩුළු 4) යන ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. මෙහිදී ඕස්ට්‍රේලියාව ලද ලකුණු 3ක ජයග්‍රහණය 1993 වන තුරුම ලෝක වාර්තාවක් ලෙස පැවතුණා. (1993 දී කොදෙව්වන් ඇඩිලේඩ් හිදී ඕස්ට්‍රේලියානුවන් පරදා එක් ලකුණක ජයක් ලැබුවා.)

මේ අපූරු තරගයේ scorecard එක මෙතනින් බලන්න.

2008 අද වැනි දිනක කොළඹ SSC පිටියේදී ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා ඉනිමක හා ලකුණු 239ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබුවේ අද වැනි දිනක. මෙහි දෙවන ඉනිමේදී මුත්තයියා මුරලිදරන් (කඩුළු 6) හා අජන්ත මෙන්ඩිස් (කඩුළු 4) සුපිරි දඟ පන්දු යැවීම හමුවේ ඉන්දියානුවන් ලකුණු 138 කට දැවී ගියා. (පසු ගිය දිනවලදී DRS ගැන කතා කළෙත් මේ තරගයමයි.)

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු බංග්ලාදේශ නායකයෙකු වූ කලීඩ් මහමුඩ් අද උපන්දිනය සමරනවා.

අද ක්‍රිකට් පිටිය (ජූලි 25)

ශෙවාග් - DRS වල මුල්ම ගොදුර

ශෙවාග් – DRS වල මුල්ම ගොදුර

DRS ආගමනය ගැන පසුගිය දින දෙකේදීම කතා කළා මතක ඇතිනෙ. ඒ කතාබහ තවම ඉවර නැහැ. ඉන්දීය පළමු ඉනිමේදී DRS මගින් විනිසුරු තීරණයක් වෙනස් කිරීමෙන් දැවී ගිය පළමු පිතිකරුවා ලෙස ඉතිහාසගත වෙන්නට විරේන්ද්‍ර ශෙවාග් හට සිදුවුණා. එහිදී ශෙවාග් දැවී ගියේ මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්. කෙසේ වෙතත් මෙය දැඩි ලෙස විවාදයට ලක්වූ තීරණයක් වුණා. ඉන්දියාව මෙම තරගයෙන් දරුණු පරාජයට ලක්වූ අතර අදටත් DRS ප්‍රතික්ෂේප කිරීමට ඉන්දියාව ගෙන ඇති තීරණයට ඔවුන්ගේ මෙම මුල්ම අත්දැකීම හේතු වන්නට ඇති.

ඉතිහාසයේ පැවති 2000 වන ටෙස්ට් තරගය අවසන් වූයේ 2011 අද වැනි දිනක. ලෝඩ්ස් හිදී එංගලන්තය හා ඉන්දියාව අතර පැවති මේ තරගයෙන් සත්කාරක එංගලන්තයට හිමිවූයේ ලකුණු 196ක පහසු ජයග්‍රහණයක්. කෙවින් පීටර්සන් නොදැවී රැස්කළ ද්විත්ව ශතකය මෙහිදී කැපී පෙනුණා.

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නෙකු වූ මොන්ඩේ සොන්ඩෙකිගේ උපන්දිනය යෙදී ඇත්තෙත් අදටයි. බොහෝ ක්‍රිකට් ලෝලීන් සොන්ඩෙකි හඳුනන්නේ නැතත් ඔහු තම පළමු එක්දින තරගයේ පළමු පන්දුවෙන්ම මාවන් අතපත්තු දවාගනිමින් කළ දස්කම අමතක කරන්න බැහැ.

අද ක්‍රිකට් පිටිය (ජූලි 24)

මුලින්ම භාවිතා වූ ටෙස්ට් තරගය ගැන ඊයෙ දිනයේදී කතාකළානෙ. අදත් ඒ ගැන කියන්නයි යන්නෙ. මෙම තරගයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු මලින්ද වර්ණපුරට එරෙහිව හර්බජාන් සිං ලබාදුන් අභියෝගය DRS මුල්වරට භාවිතා වූ අවස්ථාව ලෙස ඉතිහාසගත වුණා. කෙසේ වෙතත් ඔහු නොදැවුණු පිතිකරුවෙකු ලෙස විනිසුරුවරයා ලබාදුන් තීරණය එමගින් තහවුරු වුණා. ඒ වගේම වින්සුරුවරයා විසින් දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම්කිරීමෙන් පසුව DRS මගින් එය නිවැරදි කළ ප්‍රථම අවස්ථාව ලෙස විනිසුරු මාර්ක් බෙන්සන්ගේ තීරණයට එරෙහිව තිලකරත්න දිල්ශාන් සිදුකළ අභියෝගය ඉතිහාස පොතට එකතු වුණා.

ඒ වගේම පකිස්ථානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තියුණු ටෙස්ට් තරගයක් පකිස්ථානයට ජය ගෙනදෙමින් නිමාවූයේ 2010 අද වගේ දවසකදී. පකිස්ථානයේ පැවති ආරක්ෂක තත්වය නිසා මේ තරගය පැවැත්වුණේ එංගලන්තයේ හෙඩිංලි හිදී. මෙහිදී පකිස්ථානය කඩුළු 3ක තියුණු ජයක් ලැබුවා. ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ රූඩි කර්ට්සන්ගේ අවසන් ටෙස්ට් තරගයත් මෙයයි.

සුපිරි පකිස්ථානු පිතිකරු සහීර් අබ්බාස් මෙන්ම ඕස්ට්‍රේලියාවේ ඩග්ලස් බොලින්ජර් අද උපන්දින සමරනවා.

අද ක්‍රිකට් පිටිය (ජූලි 23)

අද දවස ගැන කියන කොට මුලින්ම කියන්න වෙන්නෙ 2008 අද වැනි දිනක කොළඹ SSC පිටියේදී ආරම්භ වූ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති ටෙස්ට් තරගය ගැනයි. මේ තරගය කාරණා 2ක් නිසා වැදගත් වෙනවා. මේ වනවිට බොහෝ වාද විවාද වලට ලක්වෙමින් පවතින විනිසුරු තීරණ නැවත සලකාබැලීමේ ක්‍රමය හෙවත් DRS මුල්වරට ක්‍රියාත්මක වූයේ මෙහිදීයි. කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් තරගය ආරම්භ කරන විට හවස 3 පමණ වූ නිසා මේ අළුත් සංකල්පය කෙසේ ක්‍රියාත්මක වේවිද කියල බලාගෙන හිටපු ක්‍රීඩා ලෝලීන්ට තව දවසක් බලාගෙන ඉන්න වුණා. තරගයේ දෙවන දිනයේ තොරතුරු හෙට කියන්නම්.

ඒ වගේම කැරම් පන්දුවෙන් ලොව මවිත කළ අජන්ත මෙන්ඩිස් ටෙස්ට් වරම් ලබාගත්තෙත් මේ තරගයේදීමයි. ප්‍රතිවාදී ඉන්දීය පිතිකරුවන් අන්දුන් කුන්දුන් කරමින් අජන්ත ඉනිම දෙකේදීම කඩුළු 4 බැගින් දවාගන්නට සමත් වූ අතර ඔහු සහ මුරලි ඉන්දීය කණ්ඩායමේ කඩුළු 20න් 19ක්ම බිඳ හෙළුවේ ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 239ක දැවැන්ත ජයග්‍රහණයක් ලඟා කර දෙමින්.

ටෙස්ට් ක්‍රිකට් ලොව මුල්ම ශතක ලාභියා වූ චාල්ස් බැනර්මන් සහ හිටපු දක්ෂ එංගලන්ත පිතිකරුවෙකු වූ ග්‍රැහැම් ගුච් ආදීන්ගේ උපන්දින අදට යෙදී තිබෙනවා.

අද ක්‍රිකට් පිටිය (ජූලි 22)

අමතක නොවන මොහොතක්

අමතක නොවන මොහොතක්

අද දවස නම් ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දවසක්. 2010 අවුරුද්දෙ ඉන්දියාව සමග ගාල්ලේදී පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය අවසානයේ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියට සමුදුන්නේ අද වගේ දවසක. තරගය ආරම්භයේ ටෙස්ට් කඩුළු 792ක් අතැතිව සිටි මුරලි ඉන්දීය දෙවන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ප්‍රග්යාන් ඕජා දවාගනිමින් ටෙස්ට් කඩුළු 800ක් දවාගත් ලොව එකම පන්දුයවන්නා වීමේ භාග්‍ය උදාකරගත්තේ ඔහුගේ විශිෂ්ඨත්වය ලොවටම පෙන්වමින්. මුරලි දවාගත් 800 වන කඩුල්ල වැදගත් වන තවත් හේතු කිහිපයක්ම තිබෙනවා. මෙහිදී ස්ලිප්හි සිට උඩපන්දුව රැකගත්තේ මහේල ජයවර්ධන. මුරලි මහේල සුසංයෝගය ලකුණු පුවරුවේ සටහන් වූ 77 වන අවස්ථාව මෙය වන අතර එය ලෝක වාර්තාවක්. ඒ වගේම තම ටෙස්ට් දිවියේ අවසන් පන්දුවෙන් කඩුල්ලක් දවාගැනීමේ දුලභ අවස්ථාවත් මුරලිට හිමිවුණා. සුපිරි නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක රිචඩ් හැඩ්ලි හටත් මෙම අවස්ථාව උදා වුණා.

19 වන ශතවර්ෂයේ එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය නියෝජනය කළ එඩ්වඩ් වෝකර් සහ ජූලි 22 වෙනිදා අතර තියෙන්නෙ පුදුම සම්බන්ධයක්. 1859 හා 1865 වසර වල ජූලි 22 වෙනිදා පැවති පළමු පෙළ තරග වලදී ඔහු ප්‍රතිවාදී ඉනිමේ කඩුළු 10 ම දවාගන්නට සමත් වෙලා තියෙනවා. ඒ පිළිවෙලින් 10/74 සහ 10/104 වශයෙන්. පුදුමයි නේද?

සුපිරි පිතිකරු හෂීම් අම්ලා පළමු දකුණු අප්‍රිකානු ටෙස්ට් ත්‍රිත්ව ශතක ලාභියා ලෙස ඉතිහාසගත වූයේ පසුගිය වසරේ අද වැනි දිනක. එංගලන්තයට එරෙහිව ලන්ඩනයේ ඕවල් පිටියේ පැවති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ ඔහු නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 311ක්. මෙහිදී දෙවන කඩුල්ල වෙනුවෙන් නායක ග්‍රැහැම් ස්මිත් (ලකුණු 131) සමග ලකුණු 259ක හා තුන්වන කඩුල්ල වෙනුවෙන් ජැක් කලිස් (ලකුණු 182*) සමග නොබිඳුනු ලකුණු 377ක සබඳතා පැවැත්වූ අම්ලා දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කඩුළු 2කට ලකුණු 637ක් දක්වා ගෙන එමින් තම කණ්ඩායමට ඉනිමක ජයක් ගෙන එන්නට දායක වුණා.

ඒ වගේම ක්‍රිකට් ලෝකයේ බිහිසුණුම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන එංගලන්තයේ හැරල්ඩ් ලාවුඩ් මෙලොවින් සමුගත්තේ 1995 අද වැනි දිනක. ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මග වෙනස් කළ “බොඩිලයින්” තරගාවලියේ එංගලන්ත බලඇණිය මෙහෙයවූයේ ඔහුයි.

එංගලන්තයේ ටොම් කාට්රයිට්, බටහිර ඉන්දීය දූපත්හි සුලෙයිමාන් බෙන් සහ රුනාකෝ මෝර්ටන්, නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් මෙන්ම ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ආදීන්ගේ උපන්දින අදට යෙදී තිබෙනවා.

අද ක්‍රිකට් පිටිය (ජූලි 21)

එංගලන්තයේ බොබ් විලිස්

එංගලන්තයේ බොබ් විලිස්

ටෙස්ට් තරගයක් follow on එකකින් පස්සෙ ජයගන්නව කියන්නෙ ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. හරියටම කියනවනම් වසර සියයකට අධික ටෙස්ට් ඉතිහාසයේ මෙවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙන්නෙ තුන් වරක් පමණයි. මේ කියන්න යන්නෙ 1981 හෙඩිංලි හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව එංගලන්තය ලැබූ එවැනි ජයක් ගැන තොරතුරු. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 227 ක ඉලක්කයක් අතැතිව දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිළේ හත්වන කඩුල්ල ලකුණු 135 දී දැවී යද්දි ඔවුන්ට තරගය ජයගැනීමට අවස්ථාවක් ඇතැයි කිසිවෙකු සිතුවෙ නැහැ. එහෙත් ඉයන් බොතම් සටන්කාමී ලෙස ක්‍රීඩාකරමින් එංගලන්ත ඉනිම ලකුණු 356 දක්වා ගෙන යෑමට සමත් වුණා. එහිදී ඔහු පන්දු 148 කදී වේගවත් ලකුණු 149ක් රැස්කළා. ඊට හතරේ පහර 27ක් හා එක් හයේ පහරක් ඇතුළත්. ඉන් අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 130ක ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන් ලකුණු 111කට සියළු දෙනා දැවී ගියේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින්. එහිදී බොබ් විලිස් ලකුණු 43කට කඩුළු 8ක් බිඳ හෙළන්නට සමත් වුණා. ලකුණු 18කින් එංගලන්තය ලද මේ තියුණු ජයග්‍රහණය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී තරගයක් ලෙස සැලකෙනවා.

සුපිරි ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලෙන් මැක්ග්‍රාත් ටෙස්ට් කඩුළු 500 සීමාව පසුකළේ 2005 අද වැනි දවසක එංගලන්තය සමග ලෝඩ්ස් හිදී පැවති අළු බඳුන තරගයකදී. මැක්ග්‍රාත් මේ කඩයිම පසුකළ සිව්වැන්නායි. ඔහුට ප්‍රථමයෙන් කර්ට්නි වෝල්ෂ්, ශේන් වෝන් හා මුත්තයියා මුරලිදරන් මේ දස්කම සිදුකොට තිබුණා.

සුපිරි දකුණු අප්‍රිකානු පිතිකරු බැරී රිචර්ඩ්ස් මෙන්ම 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක රවින්ද්‍ර පුෂ්පකුමාරගේ උපන්දින අදට යෙදී තිබෙනවා.