ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත්තු පිළිබඳ ප්‍රශ්න වරින් වර කරළියට එනවා. බටහිර ඉන්දීය දූපත් වල නිතරමත් ලංකාවේ නම් විටින් විටත් මේ ගැටළුව මතුපිටට එන්වා. නව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ මැදිහත්වීමෙන් මෙවර උද්ගත වූ ගැටළුව ඊයේ විසඳුණේ මාධ්‍යය වලට පුවත් මවමින්. ඇතැමෙකුගේ සිත් තුළ මේ සිද්ධිය නිසා ඇතිවුණේ ක්‍රීඩකයන් ගැන අප්‍රසාදයක්. කොහොම වුණත් වරින් වර මතුවණ මෙවැනි ගැටළුවලට හේතුව මීට වඩා ගැඹුරු එකක් බව තමයි මට නම් හිතෙන්නෙ.
වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන් කියන්නෙ අද ඊයෙ ආපු පිරිසක් නෙවෙයිනෙ, ඒත් දැන් දැන් ක්‍රීඩකයන් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වඩා මුදලට ප්‍රමුඛතාවය දෙන බව බොහෝ ක්‍රීඩා ලෝලීන් නගන මැසිවිල්ලක්. හොඳින් බැලූවිට පෙනෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නය ඇතිවෙන්නෙ දේශීය තරගමාලාවන් එතරම් ඉහළ මට්ටමේ නොමැති රටවලයි. විශේෂයෙන් IPL වැනි 20-20 තරගාවලි නිසා ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල දේශීය තරගාවලි අතර අසමතුලිත බවක් ඇතිවෙලා.
පසුගිය දවස්වල ඇතිවෙච්ච සිද්ධි නිසා ක්‍රීඩකයන්ගේ විනය පිරිහිලා කියලත් ඇතැමුන් කිව්වා. ඒකෙත් ඇත්තක් ඇති. ඒ වුණාට ක්‍රීඩකයන් තුළ තියෙන රට ගැන හැඟීමේ අඩුවක් වෙලා තියෙනවනම් ඒකට වගකියන්න ඕනෙ අපේ දුර්වල මට්ටමේ දේශීය ක්‍රිකට් ව්‍යුහය (domestic structure) බවයි මට නම් හිතෙන්නෙ. මොකද ක්‍රීඩකයෙක් ගොඩනැගෙන්න අන්තර් සමාජ වගේ දේශීය ක්‍රිකට් තරගාවලි වලින් හොඳ සේවයක් වෙනවනම් ඒ ක්‍රිඩකයො අන්තර්ජාතික තළයට ගියාට පස්සෙත් හැකි සෑම වෙලාවෙම දේශීය තරගාවලි වල ක්‍රීඩා කරයි. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කීයෙන් කීදෙනාද දැන් කාලෙ එහෙම කරන්නෙ? ඉතින් දේශීය මට්ටමෙන් ක්‍රීඩකයාට ඒ දේ වෙන්නෙ නැත්නම් ක්‍රිඩකයින්ගෙ (විශේෂයෙන් වෘත්තීය මට්ටමේ) රට ගැන දේශීය ක්‍රිකට් ක්‍රීඩාව ගැන තියෙන ඇල්ම අඩුවෙන එක අහන්නත් දෙයක්ද?
ඉතින් ලංකාවෙ දේශීය ක්‍රිකට් දියුණු කරන්න තාම බැරි වුණේ ඇයි? ඒකට පළවෙනි හේතුව තමයි අපේ ක්‍රිකට් ව්‍යුහයේ තියෙන අඩුපාඩු. මූලික වශයෙන්ම ක්‍රීඩා සමාජ ක්‍රමය නිසා දුර බැහැර ක්‍රීඩකයින්ගේ අවස්ථා අවහිර වෙලා. ඒකට විසඳුමක් විදිහට අන්තර් සමාජ ක්‍රමය වෙනුවට අන්තර් පළාත් ක්‍රමයක් ඇති කරන්න යෝජනා වුණේ සෑහෙන කාලෙකට උඩදි. ඒත් ක්‍රීඩා සමාජ වල බලපෑම නිසා ක්‍රිකට් ආයතනය එහෙම කරන්න මැලි වුණා. ඒ නිසා ක්‍රීඩා සමාජ තියෙද්දිම අන්තර් පළාත් ක්‍රමයක් ඇතිකරන්න ඔවුන් කටයුතු කළා. මට හිතෙන විදිහට දේශීය ක්‍රිකට් නංවන්න තිබුණ සම්පත් විවිධ මට්ටමේ කණ්ඩායම් ගණනාවක් අතර බෙදිල ගිය නිසා මේකෙන් වුණේ ප්‍රශ්න වැඩි වීමක්. ක්‍රීඩා සමාජ අහෝසි කරන්න අදහසක් නැත්නම් හොඳම විසඳුම කොළඹින් බැහැර නගර දෙක තුනකත් ක්‍රීඩා සමාජ ඇති කරල දේශීය මට්ටමට වියදම් කෙරෙන සම්පත් මේ ක්‍රීඩා සමාජ දියුණු කරන්න යොදවන එක.
ඉතින් බලධාරීන් මේ ගැන පහැදිලි තීරණයක් ගන්න තුරු ලංකාවෙ දේශීය ක්‍රිකට් ක්‍රීඩාව එන්න එන්නම දුප්පත් වෙයි. ඊයෙ ඇතිවුණා වගේ ප්‍රශ්න දිගින් දිගටම ඇතිවෙයි. ක්‍රීඩා ලෝලීන් බැණ බැණ වුණත් දිගටම ක්‍රිකට් මැච් බලයි.