අද ක්‍රිකට් පිටිය (මාර්තු 06)

සුනිල් ගවස්කාර්

සුනිල් ගවස්කාර්

අද දවසත් ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට ගියපු දවසක්. ඒ 1996 ලෝක කුසලානයේ කෙන්යාවට එරෙහිව මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයෙදි කඩුළු 5කට ලකුණු 398ක් වාර්තා කළ නිසයි. 2006දි ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව විසින් බිඳාහෙලන තුරු කණ්ඩායමක් විසින් එක්දින තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙම ලකුණු සංඛ්‍යාව ලෝක වාර්තාවට හිමිකම් කිව්වා. අරවින්ද ද සිල්වා ලකුණු 145ක් රැස් කළ මෙම තරගයේ සනත් ජයසූරිය සහ රොමේශ් කළුවිතාරණ පන්දු වාර 6.3කදී ගොඩ නැගූ ආරම්භක සබඳතාව ලකුණු 88ක්.

තරගයේ එක scorecard මෙතැනින් බලන්න.

ඒ වගේම ලොව බිහිවූ දක්ෂතම පිතිකරුවෙකු ලෙසින් සැලකෙන ඉන්දියාවේ සුනිල් ගවස්කාර් ටෙස්ට් වර්ම් ලබාගත්තෙත් 1971 අද වගේ දවසක බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව. ගවස්කාර් තමයි ටෙස්ට් ලකුණු 10000 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා.

ඊට අමතරව 2000 වසරේදී ඉන්දියාව වසර 13කට පසුව තම රටේදී ටෙස්ට් තරගයකින් පරාජය වුණා. ඒ Hansie Cronje නායකත්වය දැරූ දකුණු අප්‍රිකාවට අතින්. තරග පාවා දීමේ චෝදනාවට ලක්ව තරග තහනමකට ලක්වූ Cronje ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගයත් මෙයයි.

ෂේන් වෝන් තමන්ගෙ අශෝභන හැසිරීම නිසා විවිධ අවස්ථාවල ක්‍රිකට් පිටියේ අවධානයට ලක්වුණා. 1994 මාර්තු 6 වැනිදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් වල සිද්ධිය ඒ අතරින් ප්‍රධාන සිදුවීමක්. අන්තිමටම ෂේන් වෝන් සම්බන්ධව මේ වගේ සිද්ධියක් වාර්තා වුණේ පසුගිය Big Bash League තරගාවලියේදී.

ඩේවිඩ් ශෙපර්ඩ් පූජකතුමාගේ අභාවය ගැන ඊයෙ කිව්වනෙ. එතුමාගෙ උපන්දිනය යෙදිල තියෙන්නෙ අදට. ඊට අමතරව කොදෙව් දූපත් හි කිරාන් පවෙල්, පකිස්ථානයේ සොහේල් කාන් එහෙමත් අද උපන්දින සමරනවා. හෙටත් හමුවෙමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න